ගුවන් යානයක් තුළ ගමන් ගන්නා විට අනෙකුත් මගීන්ට බාධා වන අයුරින් හෙඩ්ෆෝන් (Headphones) භාවිතයකින් තොරව ජංගම දුරකථන හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග මගින් වීඩියෝ බැලීම සහ ගීත ශ්‍රවණය කිරීම තහනම් කරමින් යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම සිය මගී ප්‍රවාහන කොන්ත්‍රාත්තුවට (Contract of Carriage) නව නීතියක් ඇතුළත් කර තිබේ. මෙම නීතිය කඩ කරන මගීන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට හෝ ඔවුන්ට ස්ථිර ගුවන් ගමන් තහනමක් පැනවීමට පවා ගුවන් සමාගමට දැන් නීතිමය බලය හිමිවනු ඇත.
මෙම නව සංශෝධනය ගෙන ඒමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගුවන් යානා තුළ ‘ස්ටාර්ලින්ක්’ (Starlink) අධිවේගී වයි-ෆයි පහසුකම ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ මගීන් ශබ්දවාහිනී (Speakers) මගින් විවිධ අන්තර්ගතයන් නැරඹීමට හුරු වීමයි. මින් ඉදිරියට යුනයිටඩ් එයාර්ලයින්ස් මගීන් අනිවාර්යයෙන්ම හෙඩ්ෆෝන් භාවිතා කළ යුතු අතර, එසේ නොකරන මගීන් නිසා ගුවන් සමාගමට කිසියම් පාඩුවක් හෝ අමතර පිරිවැයක් දැරීමට සිදුවුවහොත් එම මුදල අදාළ මගියාගෙන් අය කර ගැනීමට ද විධිවිධාන සලසා ඇත.
මෙම නීතියට අනුව, ගුවන් කාර්ය මණ්ඩලයේ උපදෙස් නොතකා දිගින් දිගටම ශබ්ද නගමින් වීඩියෝ නරඹන මගීන් ඕනෑම ගුවන් තොටුපළකදී යානයෙන් බෑමට කපිතාන්වරයාට බලය පවතී. එසේම, මෙම නීතිය උල්ලංඝනය කරමින් යානයෙන් ඉවත් කරනු ලබන මගීන්ට සිදුවන කිසිදු මූල්‍ය පාඩුවකට ගුවන් සමාගම වගකියනු නොලැබේ. කෙසේ වෙතත්, ඔබ හෙඩ්ෆෝන් රැගෙන ඒමට අමතක වූ මගියෙකු නම්, ගුවන් සේවකයන්ගෙන් ඉල්ලා සිටීමෙන් නොමිලේ හෙඩ්ෆෝන් යුගලක් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතී.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් ගමන් පිළිබඳ පවතින දැඩි අවධානය සහ මගීන්ගේ මානසික පීඩනය සැලකිල්ලට ගනිමින්, මෙවැනි නීති මගින් ගුවන් යානය තුළ සාමකාමී පරිසරයක් පවත්වා ගැනීම ගුවන් සමාගමේ අරමුණයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ සහ සංගීත ලැයිස්තු නිසා සිදුවන බාධාවන් අවම කිරීමට මෙය කදිම විසඳුමක් වනු ඇතැයි ගුවන් සේවා විචාරකයෝ පවසති.














