ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අතිශය දරුණු මට්ටමකට පත්වෙමින් 2025 වසර තුළ වන අලීන් 455 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරයි. මීට පෙර 2024 වසරේ වාර්තා වූ අලි මරණ 388ට සාපේක්ෂව මෙය විශාල ඉහළ යාමකි. මියගිය සතුන් අතර ඇතුන් හත් දෙනෙකු ද සිටින බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුව ඇති අතර, වෙඩි තැබීම් (79), විදුලි සැර වැදීම් (69) සහ හක්කපටස් (56) මරණ සඳහා ප්‍රධාන හේතු වී තිබේ. මීට අමතරව හඳුනා නොගත් හේතූන් මත මියගිය සංඛ්‍යාව 114කි.
භූගෝලීය වශයෙන් ගත් කල වැඩිම අලි මරණ සංඛ්‍යාවක් අනුරාධපුර (93) සහ නැගෙනහිර (91) කලාපවලින් වාර්තා වී ඇත. පොළොන්නරුව කලාපය ද අලි මරණ 82ක් සමඟ ඉහළ අවදානම් මට්ටමක පවතී. සතුන් පමණක් නොව, වන අලි පහරදීම් හේතුවෙන් 2025 වසරේදී මිනිසුන් 160 දෙනෙකුට ද දිවි අහිමි වී ඇති බව වාර්තා වේ. ඉන් 101 දෙනෙකුම පොළොන්නරුව, අනුරාධපුර සහ නැගෙනහිර යන කලාප තුනට අයත් වැසියන් වීම විශේෂත්වයකි. මෙම දත්ත මගින් පෙනී යන්නේ අලි-මිනිස් සහජීවනය බරපතල අර්බුදයක පවතින බවයි.














