ඉරානය සහ ඊශ්‍රායලය අතර දරුණු යුද ගැටුම් ඇවිළෙමින් පවතින පසුබිමක, ඉරානයේ පවතින දැඩි පාලන තන්ත්‍රය හමුවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ලොව සුපතළ සිනමාකරු ජැෆර් පනාහි (Jafar Panahi) අතිශය සංවේදී හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. ඉරාන පාලනය විසින් දෙවතාවක්ම සිරගත කරන ලද පනාහි, ටෙහෙරාන් නුවර පිහිටි කුප්‍රකට ‘එවින්’ (Evin) සිරගෙදරදී තමන් මුහුණ දුන් අත්දැකීම් මෙලෙස විස්තර කර තිබෙනවා.
එවින් සිරගෙදරදී ප්‍රශ්න කිරීම්වලට ලක්වන ආකාරය සිහිපත් කරමින් ඔහු පවසන්නේ, එහිදී රැඳවියන්ගේ දෑස් බැඳ බිත්තියකට මුහුණ ලා අසුන් ගැන්වීමට පරීක්ෂකයන් කටයුතු කරන බවයි. පරීක්ෂකයන් රැඳවියාට පිටුපසින් සිට ප්‍රශ්න කරන අතර, දෑස් බැඳ ඇති රෙදිකඩ මඳක් ඉහළට ඔසවා කඩදාසියක පිළිතුරු ලිවීමට ඔවුන් බල කරන බව ඔහු පවසනවා. “ඔවුන්ගේ කටහඬ පමණයි ඔබට ඔවුන්ව හඳුනාගත හැකි එකම මඟ” යැයි පවසන පනාහි, තමන් ප්‍රශ්න කරන්නේ තරුණ අයෙක්ද නැතහොත් මහලු අයෙක්ද යන්න පවා සිතාගත නොහැකි අඳුරු වාතාවරණයක් එහි පවතින බව පෙන්වා දෙනවා.
ලෝක දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ පිටතින් යුද ප්‍රහාර එල්ල වෙමින් පවතින මොහොතක, ඉරානය තුළ මෙලෙස දේශපාලන සිරකරුවන් මර්දනය කිරීම දැඩි සදාචාරාත්මක අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි. පනාහි වැනි කලාකරුවන්ගේ මෙම හෙළිදරව් කිරීම් හරහා යුද්ධය අතරතුර ඉරාන වැසියන් මුහුණ දෙන අභ්‍යන්තර පීඩනය පිළිබඳ සැබෑ තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාව වෙත සමීප කිරීමට ‘The Economist’ සඟරාව උත්සාහ කර තිබෙනවා.
















