වසර ගණනාවක දේශපාලන නොසන්සුන්තාවයකින් පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික සහ කොන්සියුලර් සබඳතා ආරම්භ කිරීමට දෙරට එකඟ වී තිබේ. පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකානු හමුදා මෙහෙයුමකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙරටේ සබඳතාවල ඇති වූ මෙම වර්ධනය ඉතා සුවිශේෂී පියවරක් ලෙස සැලකේ. වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් සහ ඇමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් අතර පැවති සාකච්ඡාවලින් පසු කලාපීය ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය සහ දේශපාලන සංහිඳියාව වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කිරීමට දෙපාර්ශවයම ප්‍රතිඥා දී ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමය පරිදි අත්අඩංගුවට ගත් නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට මැන්හැටන් අධිකරණයක් හමුවේ අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනාවලට මුහුණ දී සිටින අතර ඔවුන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මෙම නව රාජ්‍යතාන්ත්‍රික එකඟතාවය යටතේ වෙනිසියුලාවේ පතල් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකාව සෘජුවම සහය වීමට නියමිතය. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ දකුණු ඇමෙරිකානු කලාපය තුළ මෙවැනි දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීම ගෝලීය දේශපාලනයේ තීරණාත්මක වෙනසක් ලෙස ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.
















