හැටන් දික්ඔය මූලික රෝහලේ කඩිනම් සංවර්ධන කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පළමු අදියර යටතේ රුපියල් මිලියන 300 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා අද (06) රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම සුවිශේෂී ප්‍රකාශය සිදු කළේය.
වතුකරයේ ජනතාවට සහ අවට පදිංචිකරුවන්ට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම අරමුණු කරගත් මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රෝහලේ පහසුකම් රැසක් ඉහළ නැංවීමට නියමිතය. දැනට නේවාසික රෝගීන් 220 කට සීමාවී ඇති ධාරිතාව ඇඳන් 302 ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීම මෙහි ප්‍රමුඛ කාර්යයකි. මීට අමතරව දැඩි සත්කාර ඒකකයේ ධාරිතාව දෙගුණ කිරීමටත්, ළමා වාට්ටුව නවීකරණය කිරීමටත්, වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා නව නේවාසිකාගාර ඉදි කිරීමටත් මෙහිදී පියවර ගැනේ.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ රෝහල් සංවර්ධන කටයුතු සඳහා තවත් මිලියන 90 ක ප්‍රතිපාදන ලබාදීමට නියමිත බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. භෞතික සම්පත් සංවර්ධනයට සමගාමීව රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ද වැඩි කරමින් දික්ඔය මූලික රෝහල පූර්ණ පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණයි.














