පසුගිය මැතිවරණ සමයේ කාන්තාවන් දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා පමණක් යොදාගත් පිරිස් අදටත් එම ක්‍රියාවලියම සිදුකරමින් සිටින බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේය. සර්වජන ලිය බල කාන්තා දින උත්සවය අමතමින් ඒ මහතා අවධාරණය කළේ, කාන්තාවන් අව්වේ වේලෙමින් පාරවල් අයිනේ රඳවා තැබීමේ දේශපාලන සංස්කෘතිය තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
කාන්තාවගේ නුවණ ‘හැඳි මිටේ’ යැයි සලකා ඇයව පහත් කොට සලකන දේශපාලන ව්‍යාපාර පිළිබඳව තම පක්ෂයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, ඒ වෙනුවට කාන්තාව සැබෑ ලෙසම සබල ගැන්වීම තම අරමුණ බවත් හෙතෙම පෙන්වා දුන්නේය. කාන්තාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සහ ඇය ධනවත් කිරීම සර්වජන බලය පක්ෂයේ ප්‍රධානතම ප්‍රමුඛතාවය වන බව දිලිත් ජයවීර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම උත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍යමය සහාය ලබා දීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කාන්තාව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටස්කාරියක් බවට පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද ජයවීර මහතා සිය අදහස් ඉදිරිපත් කළේය.
















