ඉරානය විසින් එල්ල කරන ලද “අමානුෂික සහ අසාධාරණ” ප්‍රහාරයන්ට එරෙහිව තම රට ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කිරීමෙන් සුළු මොහොතකට පසුව මෙම නිල ප්‍රකාශය නිකුත් විය. යටිතල පහසුකම් සහ සිවිල් ස්ථාන ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා 1,400කට අධික සංඛ්‍යාවක් දියත් කර ඇති අතර, ඉන් සිවිල් වැසියන් පිරිසක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වෛරීභාවයට සහ භූමියට එල්ල වූ සෘජු තර්ජනයක් බවත් රජය අවධාරණය කරයි. ඉරානයේ මෙම ආක්‍රමණශීලී ක්‍රියාව කලාපීය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තවදුරටත් සඳහන් කළේ තමන් කිසිදු යුද්ධයකට හෝ ගැටුම් උත්සන්න කිරීමකට සම්බන්ධ වීමට අදහස් නොකරන බවයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව තම රටේ ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට තමන්ට පූර්ණ අයිතිය ඇති බව එම රජය අවධාරණය කරයි. මේ වන විට එම රටේ ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කර ඇති අතර මිසයිල නාශක පද්ධති සක්‍රීයව ක්‍රියාත්මක වේ.














