අවිස්සාවේල්ල – කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කුරුනෑගොඩ ඉන්දියන් බීඩි කර්මාන්තශාලාව අසලදී පසුගිය 06 වනදා රාත්‍රී 10:40ට පමණ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අධික ලෙස මත්පැන් පානය කර සිටි රියදුරෙකු විසින් මෙම වෑන් රථය අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම අනතුරට සෘජුවම හේතු වී ඇති බව වාර්තා වේ.
රාත්‍රී කාලයේදී සිදුවූ මෙම අනතුරින් වෑන් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර, රියදුරාට සුළු තුවාල සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී මාර්ගයේ වෙනත් වාහන හෝ පදිකයින් නොසිටීම හේතුවෙන් විශාල විනාශයක් වැළකී ගොස් ඇත. ප්‍රදේශවාසීන් විසින් වහාම ක්‍රියාත්මක වී රියදුරා රථයෙන් පිටතට ගෙන ඇති අතර, ඔහු දැඩි ලෙස බේබදුකමින් සිටි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර, බීමත්ව සහ අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කාණුවට ඇදවැටුණු වෑන් රථය ගොඩගැනීම සඳහා දොඹකරයක් යොදා ගැනීමට ද කටයුතු කර තිබුණි.














