ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ සැලසුම (VRS) සඳහා මේ වන විට සේවකයන් 2,153 දෙනෙකු අයදුම් කර ඇති බව විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් හේඩිගල්ල මහතා අද (09) ප්‍රකාශ කළේය.
මෙම ක්‍රියාවලිය පිළිබඳ ඔහු දැක්වූ අදහස් මෙසේය. විදුලිබල මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු කිසිදු සේවකයෙකුට සිය රැකියාව අහිමි නොවන බවත්, ඔවුන් මෙතෙක් භුක්ති විඳි සියලුම වරප්‍රසාද සහ පහසුකම් එලෙසම හිමිවන බවත් ඔහු අවධාරණය කළේය. මෙහිදී සිදු වන්නේ ඔවුන් සේවය කරන ආයතනයේ නාමය වෙනස් වීම පමණක් බව ඔහු පැවසීය. විදුලි පාරිභෝගිකයන්ට පෙර පරිදිම බිල්පත් ගෙවීමට සහ හදිසි සේවා ලබා ගැනීමට හැකියාව පවතී. හදිසි ඇමතුම් අංක ද වෙනස් නොවන අතර, පාරිභෝගිකයන් මින් ඉදිරියට ගනුදෙනු කරනු ලබන්නේ Electricity Distribution Lanka (EDL) සමාගම සමඟයි.
නව සමාගම් 06ක් පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ තරඟකාරිත්වය ඇති කරමින් සහනදායී මිලකට විදුලිය ලබා දීමයි. විදුලි උත්පාදන පිරිවැය අඩු කර විදුලි ගාස්තු ක්‍රමයෙන් අඩු කිරීම රජයේ අපේක්ෂාව වුවද, මීට වසර දෙකකට පෙර ඉහළ මිල ගණන් යටතේ අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් එම ක්‍රියාවලිය අදියරෙන් අදියර සිදු කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.














