ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා අද (09) “අද දෙරණ බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
පසුගිය සිකුරාදා ඇමෙරිකානු ඩොලර් 92-93ත් අතර පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල, අද (සඳුදා) වෙළඳපොළ විවෘත වන විට ඩොලර් 115ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය හමුවේ මෙරට පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් මිල ඉහළ යාමේ සෘජු අවදානමක් පවතින බවත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 360–370ත් අතර අගයකට පත්විය හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ලෝක වෙළඳපොළ මිලට අනුකූලව දේශීය මිල ගණන් සංශෝධනය කිරීමේදී එය අප්‍රේල් උත්සව සමය තෙක් ප්‍රමාද නොකර, හැකි ඉක්මනින් සිදු කිරීම වඩාත් යෝග්‍ය බව ඔහු අවධාරණය කළේය. එසේ නොමැති වුවහොත් ආර්ථිකයට දැඩි කම්පනයක් ඇති විය හැකි අතර නිෂ්පාදන ක්‍රියාවලියට ද බාධා එල්ල විය හැකිය. බලශක්ති පිරිවැය ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් ද පවතින බැවින් රජය මේ සඳහා විකල්ප ප්‍රතිපත්තිමය පියවර ද සලකා බැලිය යුතු බව මහාචාර්ය දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














