මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 115 ඉක්මවා යාමත් සමඟ, එය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය උපදේශකයන් සමඟ විශේෂ සමාලෝචනයක් ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය ඉලක්ක කර ගනිමින් පාරිභෝගිකයන්ට දැනෙන පීඩනය අවම කිරීම ට්‍රම්ප් පරිපාලනයේ මූලික අරමුණ වී ඇත.
මිල පාලනය සඳහා දැනට සාකච්ඡාවට බඳුන් වී ඇති ප්‍රධාන විකල්ප අතර ඇමෙරිකාව සහ G7 කණ්ඩායමේ අනෙකුත් රටවල් එක්ව සිය උපායමාර්ගික තෙල් සංචිතවලින් බැරල් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට මුදාහැරීම ප්‍රමුඛ වේ. මීට අමතරව ඇමෙරිකානු වරායන් අතර ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී ඇමෙරිකානු ධජය සහිත නැව් පමණක් භාවිතා කළ යුතු බවට පවතින ‘Jones Act’ නීතිය තාවකාලිකව ඉවත් කිරීම, ෆෙඩරල් ඉන්ධන බදු ඉවත් කිරීම සහ තෙල් අපනයනය සීමා කිරීම වැනි පියවර කෙරෙහි ද අවධානය යොමු වී ඇත. තෙල් මිල ඉහළ යාම හුදෙක් “තාවකාලික තත්ත්වයක්” බව පවසන ජනාධිපති ට්‍රම්ප්, ඉරානයේ තර්ජනය අවසන් වූ පසු මිල පහළ යනු ඇති බවත්, මෙම කෙටි කාලීන මිල ඉහළ යාම ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙවන “කුඩා මිලක්” බවත් සිය ‘Truth Social’ ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල වීම දිගටම පැවතුනහොත් මෙම පියවරයන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීම අසීරු වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.














