විදේශ විනිමය පනතේ පවතින දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) හරහා මෙරට මුදල් විදේශ රටවලට ගලායාම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළේය. මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.
ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සිදුවූ රුපියල් මිලියන 290ක වංචාවකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. අදාළ වංචාව සිදුකළ සැකකරුවන් බයිනෑන්ස් (Binance) ගිණුම් හරහා ක්‍රිප්ටෝ කරන්සි උපයෝගී කරගනිමින් මහජන මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මහ බැංකුවේ අනුදැනුමකින් තොරව සිදුවන මෙම ජාවාරම් පිළිබඳව මහජනතාව තුළ පවතින අවබෝධය අවම බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව එක්ව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය. එසේම, මෙම මිලියන 290ක වංචාව සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙස ද රහස් පොලිසියට නියෝග කෙරිණි.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනෙකු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර තිබේ. සාමාන්‍ය සොරකමකට වඩා මෙවැනි තාක්ෂණික වංචා සමාජයට දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, ඒවා මැඩපැවැත්වීමට පවතින නීතිමය හිඩැස් වහාම පිරවිය යුතු බව අධිකරණයේ අදහසයි.

















