ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ් (West Bloomfield) හි පිහිටි Temple Israel සිනගෝගය වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් ධාවනය කර වෙඩි තැබීමක් සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අයිමන් ගසාලේ (Ayman Ghazaleh) ලෙස හඳුනාගෙන තිබේ. ඊයේ (මාර්තු 12) අලුයම සිදුවූ මෙම ප්‍රහාරයෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇත.
මිචිගන්හි ඩියර්බෝර්න් හයිට්ස් (Dearborn Heights) ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ගසාලේ ලෙබනන ජාතිකයෙකු බව වාර්තා වේ. මෑතකදී ඉශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මියගොස් ඇති අතර, ප්‍රහාරයට පෙර දින ඔහු සිය පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබූ බව ද අනාවරණය වී ඇත. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇති බවට විදේශීය මාධ්‍ය සැක පළ කරයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිලධාරීන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මකය. මැදපෙරදිග ගැටුමේ බලපෑම ඇමෙරිකාව තුළ පවතින ආගමික ස්ථානවල ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වී ඇති බව මෙම සිදුවීමෙන් පැහැදිලි වෙයි.














