මාර්තු 11 වැනිදා කැඳවන ලද ගල් අඟුරු ‘ස්පොට් ටෙන්ඩර්’ සඳහා වන ප්‍රසම්පාදන නිර්ණායක තවදුරටත් ලිහිල් කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FLSP) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මීට පෙර බාල ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු සැපයූ බවට චෝදනා එල්ල වූ ඉන්දීය සමාගමටම යළිත් අවස්ථාව ලබා දීම සඳහා රජය මෙලෙස කොන්දේසි ලිහිල් කර ඇති බවයි. 2025 සැප්තැම්බර් මාසයේදී ලබා දුන් ටෙන්ඩරයට අනුව නැව්වාර 25ක් පැමිණිය යුතු වුවද මේ දක්වා පැමිණ ඇත්තේ නැව්වාර 12ක් පමණක් බවත්, ඒවා ද බාල ප්‍රමිතියෙන් යුතු බවත් එහිදී අනාවරණය විය.
ගල් අඟුරු ගුණාත්මකභාවය මැනීමට මීට පෙර භාවිත කළ ‘ප්‍රතික්ෂේපිත අගය’ (Reject Value) යන පදය ඉවත් කර ඒ වෙනුවට ‘අවම අගය’ (Minimum Value) යන පදය හඳුන්වා දීමෙන් ගල් අඟුරු කිලෝවකින් ජනනය විය යුතු තාපජ ශක්තිය පිළිබඳ කොන්දේසි ලිහිල් වී ඇති බව ජයගොඩ මහතා පෙන්වා දෙයි. අප්‍රේල් මාසයේ වාරකන් කාලය ආරම්භ වීමට පෙර අවශ්‍ය ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් මෙරට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇති අතර, ඒ හේතුවෙන් අධික පිරිවැයක් දරමින් ඩීසල් මගින් විදුලිය නිපදවීමට රජයට සිදුවනු ඇත. මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ ගොස් ඇති පසුබිමක ගල් අඟුරු සැපයුමේ පවතින මෙම අක්‍රමිකතා හේතුවෙන් ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ යාමේ හෝ විදුලි කප්පාදුවක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවයි.














