ඉරානය විසින් ඇමෙරිකාව සහ ඉශ්‍රායලය ඉලක්ක කර ගනිමින් දියත් කරන ඩ්‍රෝන ප්‍රහාර පිටුපස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ “සැඟවුණු හස්තයක්” පවතින බවට බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය ජෝන් හීලි (John Healey) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානය අනුගමනය කරන ඇතැම් යුද උපක්‍රම සහ හැකියාවන් සඳහා රුසියාවේ බලපෑමක් ඇති බවට ඔහු සැක පළ කරයි.
පසුගිය මාර්තු 1 වනදා සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් ‘Akrotiri’ ගුවන් හමුදා කඳවුරට පතිත වූ ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානය මේ වන විට බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්ව තිබේ. එම ඩ්‍රෝන යානය නිෂ්පාදනය කිරීම සඳහා රුසියානු හෝ වෙනත් විදේශීය කොටස් භාවිතා කර ඇත්දැයි සොයා බැලීම එහි ප්‍රධාන අරමුණයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමෙන් වැඩිම වාසියක් ලබන නායකයා පුටින් බැවින්, මෙම අර්බුදය පිටුපස ඔහු සිටින බව විශ්වාස කිරීම පුදුමයට කරුණක් නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රුසියාව සහ ඉරානය අතර පවතින සමීප සබඳතාවයත්, රුසියාවෙන් උගත් පාඩම් උපයෝගී කරගනිමින් ඉරානය ඩ්‍රෝන යානා භාවිතා කරන ආකාරයත් පිළිබඳව බ්‍රිතාන්‍ය යුද හමුදා ප්‍රධානීන් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ රුසියාව ඉරානයට සහාය දෙන බවට තමන්ට මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, ඉරාකය වැනි රටවල ස්ථාපිත බ්‍රිතාන්‍ය හමුදා ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා මේ වන විට සක්‍රීයව දායක වෙමින් සිටියි.














