නැගෙනහිර පළාතේ දිවුලපතන ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඔවුන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු සහන සැලසීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. බෙංගමුවේ නාලක හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (14) සලකා බැලූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා මෙම සහතිකය ලබා දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනුණි.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේ, ගම්මානයේ මුල් පදිංචිකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට විකල්ප ඉඩම් හෝ වන්දි ලබා දීමට කටයුතු කරන බවයි. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කණිෂ්ක විතාරණ මහතා ඉල්ලා සිටියේ, මෙම විමර්ශන අවසන් වී සහන ලබා දෙන තෙක් ගම්වැසියන්ට ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටීමට අවසර දෙන ලෙසයි.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, පරීක්ෂණවලින් පසුව නිසි සහන නොලැබෙන්නේ නම් මෝසමක් මගින් මෙම නඩුව නැවත කැඳවීමට පෙත්සම්කරුවන්ට අවසර ලබා දෙමින් නඩු විභාගය අවසන් කිරීමට තීරණය කළේය. මේ හරහා දිවුලපතන ගම්මානයේ පවුල් රැසකට සිය පදිංචිය සම්බන්ධයෙන් පැන නැගී තිබූ අවිනිශ්චිත තත්ත්වයට තාවකාලික සහනයක් හිමිව තිබේ.














