රාජ්‍ය සේවය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ඩිජිටල් සේවාවක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක් පසුගිය 12 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ‘AI for Transforming Public Service’ යන මැයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, සබරගමුව පළාත් සභාවේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක විය.
මෙම වැඩමුළුව සඳහා රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. රාජ්‍ය සේවය තුළ AI තාක්ෂණය පිළිබඳ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම සහ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට නිලධාරීන් සූදානම් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) හිටපු අධ්‍යක්ෂවරුන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරුන් මෙහිදී සම්පත් දායකත්වය සැපයූ අතර, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද මීට එක්ව සිටියහ.
















