රජයේ ආයතන තුළ සිදුවන දූෂණ, වංචා සහ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් මූලික විමර්ශන කඩිනම් කිරීම සඳහා විශේෂ “විමර්ශන නිලධාරී සංචිතයක්” පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය වෙත COPE සහ COPA වැනි කමිටු මගින් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අධික වීමත්, ඒවා විමර්ශනය කිරීමට සිටින නිලධාරීන් සංඛ්‍යාව (20 දෙනෙකු) ප්‍රමාණවත් නොවීමත් නිසා මෙම නව සංචිතය පිහිටුවා ඇත.
විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථාවලින් තෝරාගත් නිලධාරීන් 150 දෙනෙකුගෙන් මෙම සංචිතය සමන්විත වේ. මොවුන් කණ්ඩායම් තුනක් යටතේ දින 14ක විශේෂ පුහුණුවකට යොමු කෙරෙන අතර, එහි පළමු අදියර සාර්ථකව නිම කළ නිලධාරීන් 42 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීම නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිටදී පැවැත්විණි. මින් ඉදිරියට ඕනෑම රාජ්‍ය ආයතනයක සිදුවන විෂමාචාරයක් සම්බන්ධයෙන් විධිමත් මූලික විමර්ශනයක් සිදු කිරීමට මෙම පුහුණු නිලධාරීන් යොමු කිරීමට නියමිතය.














