නොරොච්චෝල බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිත කිරීම නිසා සිදුව ඇති දැවැන්ත මූල්‍ය පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පැටවීමට ඉඩ නොදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමේ හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ බාල ගල්අඟුරු භාවිතය නිසා විදුලි උත්පාදනයේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි. මාර්තු 12 වනදා සිට මාර්තු 17 වනදා දක්වා කාලය තුළ පිළිවෙළින් මෙගාවොට් 51, 130, 135, 132, 148 සහ 165ක් ලෙස විදුලි උත්පාදන පාඩුවක් වාර්තා වී ඇති බවත්, එම හිඟය පියවීමට අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාර භාවිතා කිරීම නිසා සිදුවන අමතර වියදම ජනතාවගෙන් අයකර නොගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ බාල ගල්අඟුරු සැපයූ සමාගම්වලින් සහ ඒවා පරීක්ෂා කළ ආයතනවලින් මෙම පාඩුව අයකර ගැනීමට විදුලිබල පනත යටතේ මහජන උපයෝගිතා කොමිසමට බලය ඇති බවයි. සැලසුම් කර ඇති ගල්අඟුරු නැව් 36ම නියමිත වේලාවට මෙරටට ළඟා වේද යන්න පිළිබඳව සැකයක් පවතින බව පවසන ඒ මහතා, නැප්තා සහ ෆර්නස් ඔයිල් මිලදී ගැනීමේදී විනිවිදභාවයක් නොමැති වීම නිසා අනවශ්‍ය ලෙස අතිරික්ත මුදල් ගෙවීමට සිදුවී ඇති බවට ද චෝදනා කළේය. යෝජිත විදුලි ගාස්තු ව්‍යුහය මගින් සාමාන්‍ය නිවාස, ආගමික ස්ථාන සහ සුළු ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් සිදුවන අතර එය ඉහළ ආදායම් ලබන පිරිස්වලට වැඩි වාසි සැලසෙන අයුරින් සකස් කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
බලශක්ති මිල නියම කිරීමේදී සාධාරණත්වය සහ සමානත්වය සුරැකිය යුතු බවත්, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය හුදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශවලට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම සූර්ය බලශක්තිය ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයට වඩා ලාභදායී බව පෙන්වා දුන් ඔහු, නිසි පිරිවැය කළමනාකරණයක් සහ සැලසුමක් නොමැති වුවහොත් ඉදිරියේදී යළිත් විදුලි කප්පාදුවකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද අනතුරු ඇඟවීය.














