පෙබරවාරි 28 වනදා සිට ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය සම්බන්ධ වෙමින් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය නොසන්සුන්තාවය මධ්‍යයේ වුවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳව එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සිය නොසැලෙන විශ්වාසය ප්‍රකාශ කර තිබේ. “ශක්තිය ඇත්තේ එකමුතුකම තුළයි” (Unity in Strength) යන තේමාව යටතේ අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ඕනෑම බාහිර අභියෝගයකට මුහුණ දීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ ශක්තිය එමීර් රාජ්‍යය සතු බවයි.
ඉරානයේ ක්‍රියාකලාපය හමුවේ කලාපීය ආරක්ෂක ගැටලු මතු වුවද, එමීර් රාජ්‍යය විසින් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පූර්ව ආරක්ෂිත පියවර රැසක් ගෙන ඇත. වරින් වර ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කළද, රටේ දෛනික ජන ජීවිතය සහ ව්‍යාපාරික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය සමත් වී තිබේ. රියල් එස්ටේට්, සන්නිවේදන සහ උපදේශන යන ක්ෂේත්‍රවල නිරත ව්‍යවසායකයින් පවසන්නේ තමන් කලබලයට පත් නොවී දීර්ඝකාලීන ආයෝජන සැලසුම් සමඟ ඉදිරියට යන බවයි.
විශේෂයෙන්ම දශක දෙකකට අධික කාලයක් එමීර් රාජ්‍යයේ ව්‍යාපාර කරන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ, මීට පෙර පැමිණි සෑම අර්බුදයකදීම එමීර් රාජ්‍යයේ නායකත්වය විසින් ගනු ලැබූ තීරණාත්මක පියවර නිසා රට වඩාත් ශක්තිමත් වූ බවයි. ලෝක වෙළඳාම, ආයෝජන සහ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් එමීර් රාජ්‍යය සතු ස්ථාවර භාවය මෙම යුදමය වාතාවරණය හමුවේ වුවද නොවෙනස්ව පවතින බව ඔවුන්ගේ අදහසයි. ගෝලීය වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය මධ්‍යයේ වුවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලාපයේ “ස්ථාවරත්වයේ පහන” (Beacon of stability) ලෙස තවදුරටත් වැජඹෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.














