ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (මාර්තු 20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා තහවුරු කළේය. මැදපෙරදිග යුදමය වාතාවරණය සහ ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සභානායකවරයා ඉකුත් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ දැනුම්දීමකට අනුව ජනාධිපතිවරයා අද සභාව ඇමතීමට නියමිතය. ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව, පාර්ලිමේන්තුවේ නියෝජනය වන විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ජාතික වැදගත්කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගැනීම මෙහි අරමුණයි.














