සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රටේ සමස්ත තෙල් සැපයුම මාස දෙකකින් අවසන් වුවද සෞඛ්‍ය සේවය පමණක් තවත් සති හයක කාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආරක්ෂිත තොග රජය සතුව පවතින බවත් වරාය සහ ගුවන්තොටුපළ වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ද එවැනි ආරක්ෂිත තොග පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ලෝක වෙළඳපොළේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් නිසා සැපයුම් දාමයට සහ මිල ගණන්වලට යම් බලපෑමක් එල්ල විය හැකි වුවද ආර්ථිකය බිඳවැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට රජය අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම මෙම අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනතාවට ලබා දිය හැකි සහනයන් පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.














