වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම මත පදනම්ව ක්‍රියාත්මක වන “ඔත්තේ සහ ඉරට්ටේ” දින ක්‍රමය නොසලකා හරිමින් පිරවුම්හල් වෙත පැමිණෙන රියදුරන් වහාම ඉවත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසන්නේ, නියමිත දිනයට අදාළ නොවන වාහන පිරවුම්හල් පරිශ්‍රයට ඇතුළු වීමට පෙරම හරවා යැවීමට සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
ඇතැම් පිරවුම්හල් අසල මෙම නීතිය උල්ලංඝනය කරමින් සියලුම අංක සහිත වාහන පෝලිම් ගැසීම හේතුවෙන් අනවශ්‍ය තදබදයක් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පොලීසිය නිරීක්ෂණය කර ඇත. මේ වන විටත් ඉන්ධන පෝලිම් තුළ අශෝභන ලෙස හැසිරෙමින් ගැටුම් ඇති කරගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ සාධාරණ ලෙස ඉන්ධන බෙදාහැරීම සහතික කිරීම සඳහා QR ක්‍රමවේදය සහ අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දින නිසි පරිදි පිළිපදින ලෙස පොලීසිය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි. නීතිය කඩ කරන පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් දැඩිව ක්‍රියා කරන බව ද සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














