සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනතාවාදී නව ආණ්ඩුවක් ගොඩනැගීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වන ගුණානුස්මරණ උළෙලට ඊයේ කොළඹදී එක්වෙමින් ඔහු සඳහන් කළේ වාමවාදී හෝ දක්ෂිණාංශික බෙදීම්වලින් බැහැරව, රටේ මිලියන 22ක් වූ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පොදු ජනතා කඳවුරක් ශක්තිමත් කළ යුතු බවයි. සමාජය තවදුරටත් “පොල් කටු දේශපාලනය” හෝ “ඩොලර් මිටි දේශපාලනය” පිළිනොගන්නා බවත් මහජන විශ්වාසය මුදලට විකිණිය නොහැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, රට ඉදිරියට යා යුත්තේ මානුෂීය ධනවාදය, සමාජ සාධාරණත්වය සහ ඒකීයභාවය මත පදනම්ව බව අවධාරණය කළේය. බුද්ධාගම සුරකිමින් අනෙකුත් ආගම් හා ජාතීන් ශක්තිමත් කරන සහජීවනයෙන් යුත් ජාතියක් ගොඩනැගීම තම අරමුණ බව පැවසූ ඔහු, තම දේශපාලන ගමනේ ආරම්භය ගාමිණී දිසානායක මහතා බවත් තමන්ව හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කරමින් සමාජ සේවයට යොමු කළේ ඔහු බවත් සිහිපත් කළේය. වසර 30ක මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිම කිරීම සහ ස්වර්ණභූමි ඔප්පු වැඩසටහන වැනි දැවැන්ත ජනතා මෙහෙවරයන් අගය කළ සජිත් ප්‍රේමදාස මහතා, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැනි නායකයින් අනුගමනය කළ මහපොළ, ගම් උදාව සහ ජනසවිය වැනි වැඩසටහන් දක්ෂිණාංශික මතවාද නොව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලවල් බව වැඩිදුරටත් සඳහන් කළේය.














