මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම, මුළු ලොවම අඩාල කළ කොවිඩ්-19 වසංගත සමයට සමාන විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. මොස්කව් අගනුවරදී ව්‍යාපාරික නායකයන් හමු වූ අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර සැපයුම් ජාලයන් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් බිඳ වැටීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් පුටින් මහතා, විශේෂයෙන්ම ලෝහ සහ පොහොර නිෂ්පාදන සමාගම් වෙත මෙයින් දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව අවධාරණය කළේය. මෙම ගැටුමේ අවසාන ප්‍රතිඵල නිවැරදිව පුරෝකථනය කිරීම අපහසු වුවද, එහි ආර්ථික බලපෑම සමස්ත ලෝකයේම සංවර්ධනය අඩාල කළ කොරෝනා වසංගත සමයේ අත්දැකීම්වලට සමාන විය හැකි බව ඔහුගේ අදහස වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ ගෝලීය වෙළඳපොළේ බලශක්ති සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාමේ අවදානමක් පවතින අතර, එය සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ස්ථාවරත්වයට ද සෘජු බලපෑම් එල්ල කරනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.














