ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි මොනාරෝ මහා මාර්ගයේ (Monaro Highway) අද (03) දහවල් සිදුවූ යතුරුපැදි අනතුරකින් 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කූමා නගරයට කිලෝමීටර් 20ක් පමණ දකුණින් පිහිටි රොක් ෆ්ලැට් (Rock Flat) ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ දහවල් 1.20ට පමණ බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා තවත් යතුරුපැදි කරුවන් කිහිප දෙනෙකු සමඟ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, මූලික විමර්ශනවලට අනුව වෙනත් කිසිදු වාහනයක් හෝ බාහිර වස්තුවක් මෙයට සම්බන්ධ වී නොමැති බව පොලිසිය පවසයි. හදිසි සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට පැමිණීමට පෙරම අදාළ පුද්ගලයා මියගොස් සිටි බව ද සඳහන් වේ.
අනතුර සිදුවූ ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම් කර පරීක්ෂණ පවත්වන බැවින්, මොනාරෝ මහා මාර්ගය දෙපසටම වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබා දී ඇත. මෙම අනතුර පිළිබඳව තොරතුරු හෝ දර්ශන පවතී නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙස ද දේශීය බලධාරීන් ඉල්ලා සිටී.














