දැනට දිවයින පුරා පිහිටි අක්ෂි රෝහල්වල වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් තිබෙන බව එම අංශය පැවසු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
එසේම දිවයින පුරා පිහිටි රෝහල්වලට මසකට අක්ෂි කාච පහළොස්දහසක් පමණ සැත්කම් සදහා අවශ්‍ය වන බවත් අක්ෂි කාච වර්ග 9ක් වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල්වලට බෙදා හරින අතර කිසිදු අක්ෂි කාචයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි බවද එම අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මෙම හිගයට හේතු වී ඇත්තේ නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් සිදු නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් කළ නියෝගයකට අනුව විමර්ශන ආරම්භ කිරීම බව රවි කුමුදේශ් මහතා කියා සිටියේය.
එසේම මෙම විමර්ශනය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
කෙසේ වෙතත් විවිධ ටෙන්ඩර මගඩි හේතුවෙන් සහ විවිධ ටෙන්ඩර මගඩි සිදු කිරීම සඳහා, ටෙන්ඩර අවලංගු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විලාසිතාවක් වී ඇති අතර, ඒ හේතුවෙන් නිතර නිතර සාමාන්‍ය මිලදී ගැනීම් ඉවත දමමින් හදිසි මිලදී ගැනීම් සඳහා පාර කපා ගැනීමද තාක්ෂණික මාෆියාවක් බවට පත්ව තිබෙන බව අක්ෂි කාච හදිසි මිලදී ගැනීමේ තීරණයද ඉදිරි දින කිහිපය ඇතුලත සුජාතකරණය වීම අනිවාර්ය වන අතර, ඒ හේතුවෙන් වැඩි මිලට අක්ෂි කාච මිල දී ගැනීමට සිදු වීම හේතුවෙන් හානිවන විශාල මුදල් කන්දරාව සඳහා වග කිවයුත්තෙක් පවා සොයා ගැනීමට නොහැකි වනු ඇති බව ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමේදී රුපියල් 8000/- සිට 9500/- දක්වා අඩු මුදලකට ලබා ගත හැකි අතර, කළමණාකරණ දෝශ හේතුවෙන් එය ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස සිදු කරණු ලැබුවහොත්, එම අක්ෂි කාච වල මිල රුපියල් 20,000/- සිට රුපියල් 30,000/- අධික මිලකට ලබා ගැනීමට සිදුවන බව වාර්තා වේ.
ඒ අනූව හදිසි මිලදී ගැනීම හේතුවෙන්, එක් අක්ෂි කාචයකින් රජයට අහිමි විය හැකි මුදල රු. 12000/- සිට රු. 20000/- දක්වා ප්‍රමාණයක් වන අතර රජයේ රෝහල් සේවාව සඳහා මසකට අක්ෂි කාච 15000ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඊට අදාලව මසකට රජය අහිමි කර ගන්නා මුදල රුපියල් මිලියන 200ත් 300ත් අතර ප්‍රමාණයක් බව වාර්තා වේ.