27 April 2024
#දේශීය

නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

අනුරාධපුර , නොච්චියාගම ගාලදිවුල්වැව පොලිස් වසමේ නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කුමාර එළිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.ජී ප්‍රසාද් නිලන්ත කුමාර (46) නම් දෙදරු පියෙකි.

ඔහු වෘත්තියෙන් කිරි ගොවියකු වන අතර, රාත්‍රී කාළයට තම ගවගාලේ කටයුතු හා ආරක්ෂාව වෙනුවෙන් නිවසේ සිට කිලේා මීටර 03 ක් පමණ එපිටින්, නොච්චියාගම ගාලදිවුල්වැව පොලිස් වසමේ නෙලුම්තොට්ටම ප්‍රදේශයේ පිහිටි තම ගවගාල අසල පැලක් සදාගෙන ඔහු රැදී සිටිනු ලබයි. සුපුරුදු පරිදී ඊයේ (07) දිනද ගව ගාලේ කටයුතු සදහා රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ඔහු පැලට ගොස් ඇති අතර, තම පැලට ආසන්නයේ පිහිටි කොහුමෝලක නවාතැනක් පිටුපසදී මෙලෙස වන අලි පහරදීම සිදු වී ඇත.

කොහුමෝලේ හිමිකරු සමඟ අදාළ කොහුමොලේ නවාතැන තුළට ගොස් කථා බහ කරමින් සිට ඇති අතර, කොහු මෝලේ හිමිකරු අසල වෙළඳසැලකට ගොස් නැවත පැමිණි පසු නිලන්ත කුමාර මහතා නවාතැන තුළ නොසිටි බවත්, ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ සිටිනු දුටු බවත්, නිලන්ත කුමාරට වන අලියකු පහරදී ඇති බව ඉන් පසු දැනගත් බවත් කොහුමෝලේ හිමිකරු පවසයි.

වන අලි පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නිලන්ත කුමාර මහතා නෝච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි නොච්චියාගම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් -අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *