ඉන්දීය ආම් ආද්මි පක්ෂයේ (AAP) රාජ්‍ය සභා මන්ත්‍රී රාඝව් චේධා, තමා පාර්ලිමේන්තුවේදී සිදුකරන ප්‍රකාශ පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුළ නිර්මාණය වන හාස්‍යජනක ‘මීම්ස්’ (Memes) පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ. “ඔබේ නිර්මාණශීලීත්වයට මම ඇත්තටම ආදරෙයි.. තව තවත් ඒවා නිර්මාණය කරන්න,” යනුවෙන් ඔහු X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තමා විසින්ම නිර්මාණය කළ මීම් එකක් ද සමඟිනි.
මන්ත්‍රීවරයා විසින් පළ කරන ලද එම ඡායාරූපයේ ඔහු රාජ්‍ය සභාව අමතන ආකාරය දැක්වෙන අතර, එහි උපසිරැසි ලෙස “සර්, මේ මීම්ස් නතර වෙන්න දෙන්න එපා…” යනුවෙන් හින්දි භාෂාවෙන් සටහන් කර ඇත. සාමාන්‍යයෙන් දේශපාලඥයන් තමන්ට එල්ල වන උපහාසාත්මක විවේචන පිළිබඳව දැඩි ස්ථාවරයක පසුවුවද, රාඝව් චේධා මෙලෙස ඒවා හාස්‍යයෙන් වැළඳ ගැනීම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ඔහුගේ මෙම පණිවිඩයත් සමඟ X ජාලය තුළ ඔහු ඉලක්ක කරගනිමින් තවත් නව මීම්ස් වැලක් නිර්මාණය වී ඇත. එහිදී ඔහු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ඇතැම් පොදු කරුණු මෙන්ම, පක්ෂය හැරයාම වැනි දේශපාලන කටකතා ද ඇතුළත් විවිධ නිර්මාණාත්මක සටහන් පරිශීලකයන් විසින් එක් කර තිබෙනු දක්නට ලැබේ.














