කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා පැවැත්වීමට නියමිත පාකිස්ථානයට එරෙහි තීරණාත්මක තරගය සඳහා ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා ක්‍රීඩා කිරීම පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් මතුව තිබේ. උදරයේ හටගත් ආසාදනයක් හේතුවෙන් පසුගියදා දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ ඔහු, ඊයේ දිනයේදී නැමීබියාව සමඟ පැවති තරගයට ද සහභාගී වූයේ නැත.
අභිෂේක් මේ වන විට රෝහලෙන් පිටව පැමිණ සිටියද, ඔහු තවමත් පූර්ණ ශාරීරික යෝග්‍යතාවය (Match Fitness) ලබා නොමැති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි. ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ද ප්‍රකාශ කර ඇත්තේ අභිෂේක් සම්පූර්ණ සුවය ලබන තෙක් ඔහුට තවත් තරග එකක් හෝ දෙකක් මඟ හැරීමට ඉඩ ඇති බවයි. ඉහළ ලකුණු වේගයක් රඳවා ගන්නා ආරම්භක පිතිකරුවෙකු ලෙස අභිෂේක්ට පාකිස්ථාන තරගය අහිමි වීම ඉන්දීය කණ්ඩායමට යම් බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයකි.














