ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, මෙහිදී ආදිවාසී ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳවම දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි.
විශේෂයෙන්ම ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, ඔවුන්ට බාධාවකින් තොරව එම ඉඩම් භුක්ති විඳීමේ අයිතිය ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සහතික වී තිබේ.
මීට අමතරව, මෑතකදී බලපෑ “දිට්වා” සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූ හෙන්නානිගල ගම්වාසීන් සඳහා මෙතෙක් සහනාධාර නොලැබීම පිළිබඳව ආදිවාසී නායකයා කරුණු ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදිම අදාළ නිලධාරීන් දැනුවත් කර එම පවුල් සඳහා විධිමත් ලෙස සහන ලබා දීමට කටයුතු කර ඇත.
















