ඩුරන්ඩ් රේඛාව (Durand Line) ඔස්සේ අද (අප්‍රේල් 02) හටගත් දරුණු ගැටුම් මධ්‍යයේ, පකිස්ථාන හමුදා රෙජීමයට අයත් සන්නද්ධ කණ්ඩායම් වෙත වහාම යටත් වන ලෙස ඇෆ්ගන් ආරක්ෂක බලකායන් නියෝග කර තිබේ. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන නවතම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, පකිස්ථාන හමුදා මුරපොළවල් වටකර ඇති ඇෆ්ගන් සෙබළුන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඔවුන්ට යටත් වන ලෙසට අවධාරණය කරන අයුරුයි.
කෝස්ට් (Khost) පළාතේ කුලාම් (Ghulam) ප්‍රදේශයේ පැය ගණනාවක් පුරා පවතින මෙම සටන්, 2026 පෙබරවාරි අගභාගයේ සිට දෙරට අතර ඇරඹුණු පුළුල් යුද ගැටුම්වල තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ඩුරන්ඩ් රේඛාවේ පකිස්ථානය විසින් ඉදිකර තිබූ වැටවල් සහ මුරපොළවල් රැසක් ඇෆ්ගන් හමුදා පාලනයට නතු කරගෙන ඇති බවත්, පකිස්ථාන සෙබළුන් පිරිසක් තම මුරපොළවල් අතහැර පලාගොස් ඇති බවත් වාර්තා වේ. මෙම දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ දේශසීමාවේ දෙපසම දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් අවතැන් වී ඇති අතර, කලාපය පුරා යුදමය වතාවරණයක් වර්ධනය වෙමින් පවතී.














