ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් අප්‍රිකානු රටවල් සමඟ ඇති කර ගැනීමට උත්සාහ කරන නව ද්විපාර්ශ්වික සෞඛ්‍ය ගිවිසුම් “අසාධාරණ” සහ “අනාචාරී” බව පවසමින් ජාත්‍යන්තර මට්ටමින් දැඩි විරෝධයක් මතු වී තිබේ. මෙම ගිවිසුම් හරහා අදාළ රටවල ජෛව සම්පත් සහ සංවේදී සෞඛ්‍ය දත්ත අමෙරිකාව සමඟ බෙදා ගැනීමට බලපෑම් කිරීම මීට ප්‍රධානතම හේතුව වී ඇත. මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යය ඩොලර් මිලියන 350ක අමෙරිකානු සෞඛ්‍ය ආධාර ප්‍රතික්ෂේප කර ඇති අතර, කෙන්යාව දත්ත බෙදා ගැනීමේ කොන්දේසි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියි.
සිම්බාබ්වේ විදේශ කටයුතු ලේකම් ඇල්බට් චිම්බින්ඩි මහතා ප්‍රකාශ කළේ, තම රටේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය පාවා දෙන මෙවැනි ඒකපාර්ශ්වික ගිවිසුම් සඳහා අත්සන් නොතබන ලෙස එරට ජනාධිපති එමර්සන් ම්නන්ගැග්වා නියෝග කර ඇති බවයි. විශේෂයෙන්ම, වසර 25ක කාලයක් සඳහා වෛරස් සාම්පල සහ රෝගීන්ගේ දත්ත ලබා දෙන ලෙස අමෙරිකාව ඉල්ලා ඇති නමුත්, එම දත්ත ඇසුරින් නිපදවන එන්නත් හෝ ඖෂධ සඳහා අප්‍රිකානු රටවලට හිමිකම් නොලැබීම දැඩි විවේචනයට ලක්ව තිබේ. සැම්බියාව සමඟ ඇති කර ගැනීමට යන ගිවිසුම ද එරට ඛනිජ සම්පත් කොල්ලකෑමට දරන උත්සාහයක් බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
ට්‍රම්ප් පරිපාලනයේ ‘අමෙරිකාව ප්‍රමුඛ’ (America First) සෞඛ්‍ය උපාය මාර්ගයේ කොටසක් ලෙස මෙම ගිවිසුම් ඉදිරිපත් කර ඇත. නයිජීරියාව වැනි රටවලට ලබා දෙන ආධාර සඳහා එරට ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැනි ආගමික කොන්දේසි ද ඇතුළත් කර තිබීම මතභේදයට තුඩු දී ඇත. මෙම ගිවිසුම් මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි බහුපාර්ශ්වික ආයතන දුර්වල කරමින්, අප්‍රිකානු රටවල් අමෙරිකානු ඖෂධ නියාමන ක්‍රමවේද මත පමණක් යැපෙන තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බව විචාරකයෝ පවසති.















