විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අහුන්ගල්ලේ මදුෂාන්’ යන අයගේ ප්‍රධානතම සමීපතමයෙකු වන අගම්පොඩි ප්‍රදීප් කුමාර හෙවත් “පොඩ්ඩා” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දරමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරු මත්ද්‍රව්‍ය පාර්සල් කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මොහු 2023 වසරේදී පාකිස්තානයේ කරච්චි නුවරට ගොස් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හාජි සලීම් සහ නසරුල්ලා යන අය සමඟ සෘජු සබඳතා පවත්වමින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එවීම මෙහෙයවා ඇති බවයි. අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නෙකු (Tourist Guide) ලෙස පෙනී සිටිමින් මොහු මෙම මහා පරිමාණ ජාවාරම් සහ වෙඩි තැබීම් සඳහා ඔත්තු සැපයීමේ නිරත වී තිබේ.
විශේෂයෙන්ම අහුන්ගල්ලේ ‘ඇන්ටන්’ නැමැත්තාට වෙඩි තැබීම සහ පච්ච මංජු ඇතුළු පිරිසට සිදුකළ වෙඩි තැබීම්වල ප්‍රධාන ඔත්තුකරු මොහු බවට අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ විසින් ද මීට පෙර පාපොච්චාරණය කර තිබුණි. ඉතා කෙටි කලක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අතිවිශාල වත්කම් උපයා ඇති මෙම සැකකරු සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන පවත්වයි.














