කෘතිම බුද්ධි (AI) ඒජන්තයන්, මෙවලම් සහ තාක්ෂණික කුසලතා ලියාපදිංචි කිරීම, සෙවීම සහ නැවත භාවිත කිරීම පහසු කිරීම සඳහා ඇමසෝන් වෙබ් සර්විසස් (AWS) සමාගම ‘AWS Agent Registry’ නමින් නව සේවාවක් පසුගිය අප්‍රේල් 9 වැනිදා දියත් කළේය. AWS AgentCore හි කොටසක් ලෙස ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා AWS වේදිකාව තුළ පමණක් නොව, අනෙකුත් ක්ලවුඩ් පරිසරයන්හි හෝ පෞද්ගලික සර්වර් ජාලයන්හි ක්‍රියාත්මක වන AI ඒජන්තයන් පවා මධ්‍යගතව කළමනාකරණය කිරීමේ හැකියාව පවතී. මෙම මධ්‍යගත ලේඛනාගාරය (Registry) හරහා ආයතනයක් තුළ දැනටමත් පවතින මෙවලම් පහසුවෙන් සොයා ගැනීමට සහ නැවත භාවිත කිරීමට හැකි වන බැවින්, එකම මෙවලම නැවත නැවතත් නිර්මාණය කිරීම වැළකී කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මග පාදයි.
මෙම සේවාව මගින් ඒජන්තයන් භාවිත කරන ප්‍රොටෝකෝල, ඔවුන් සතු හැකියාවන් සහ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දත්ත (Metadata) ක්‍රමවත්ව ගබඩා කරනු ලබයි. පරිශීලකයන්ට AWS console, SDK හෝ API හරහා පමණක් නොව, MCP වැනි තාක්ෂණයන් ඔස්සේ ස්වයංක්‍රීයව ද තොරතුරු රැස් කළ හැකිය. මීට අමතරව, ආයතනික මට්ටමින් ආරක්ෂාව සහ පාලනය තහවුරු කිරීම සඳහා පරිපාලකයන්ට ඒජන්තයන් ලියාපදිංචි කිරීමට සහ සෙවීමට ඇති අවසරයන් වෙන වෙනම පාලනය කිරීමටත්, අනුමත කිරීමේ පද්ධති (Approval pipelines) හරහා විශ්වාසනීය මෙවලම් පමණක් භාවිතයට ගැනීමටත් මෙහිදී අවස්ථාව සලසා දී ඇත.
දැනටමත් මයික්‍රොසොෆ්ට් සහ ගූගල් ක්ලවුඩ් වැනි සමාගම් මෙවැනි සේවාවන් පවත්වාගෙන යන අතර, AWS සමාගම ද මෙම ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ AI ඒජන්තයන් මත පදනම් වූ මෘදුකාංග සංවර්ධන කටයුතු ලොව පුරා වඩාත් ක්‍රමවත් සහ කාර්යක්ෂම වනු ඇතැයි තාක්ෂණික විචාරකයෝ අපේක්ෂා කරති. විශේෂයෙන්ම බහුවිධ ක්ලවුඩ් පරිසරයන් භාවිත කරන විශාල ආයතන සඳහා මෙම මධ්‍යගත පාලන ක්‍රමවේදය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.
















