ඉරානයට එරෙහිව ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා දියත් කර ඇති ප්‍රහාර මාලාව හේතුවෙන් අඛණ්ඩව තෙවන දිනටත් මැදපෙරදිග ගුවන් ගමන් පථයන් අඩාල වී ඇති අතර, මෙහි වඩාත්ම බැරෑරුම් තත්ත්වය වන්නේ යුදමය වාතාවරණය හමුවේ සිදුවන ආදායම් අහිමිවීම් සඳහා වන්දි ගෙවීමට රක්ෂණ සමාගම් බැඳී නොසිටීමයි. රොයිටර්ස් පුවත් සේවයට අනුව, වාණිජ දේපළ සහ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ආදායම් අහිමිවීම් වැනි අංශ සඳහා යුද රක්ෂණාවරණ හිමි නොවීම නිසා ගුවන් සේවා සමාගම් සහ සංචාරක ක්ෂේත්‍රය ඩොලර් බිලියන ගණනක අලාභයකට මුහුණ දී සිටිනවා. මේ වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නැව් සඳහා වන රක්ෂණ පිරිවැය පැය 48ක් තුළ පස් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, බොහෝ රක්ෂණකරුවන් අවදානම් කලාප සඳහා ආවරණ ලබාදීමෙන් ඉවත් වෙමින් පවතිනවා. මෙම තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ යාමට අමතරව ලොව පුරා ගුවන් සේවා සහ සැපයුම් දාමයන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.














