ඉරාන උත්තරීතර නායකයාගේ අභාවයෙන් පසු එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලැරිජානි (Ali Larijani) විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්, ඉදිරි දින කිහිපය ඉරානයට අභියෝගාත්මක වනු ඇති බවට අනතුරු අඟවා තිබේ. ඊයේ (28) එල්ල වූ දැවැන්ත ප්‍රහාර හමුවේ ඉරාන නායකත්වය පත්ව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මීට පෙර පැවති යුද්ධවලට සාපේක්ෂව මෙවර ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි අවම මට්ටමක පවතින බවයි. “ඉදිරි දිනවලදී අපට විවිධ උස් පහත්වීම් (Ups and downs) වලට මුහුණ දීමට සිදුවනු ඇත, නමුත් සමස්තයක් ලෙස අනාගතය ඉතා දීප්තිමත් වනු ඇත,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ලැරිජානිගේ මෙම “උස් පහත්වීම්” පිළිබඳ ප්‍රකාශය විදේශ විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, එයින් ඉරානය ඉදිරියේදී දියත් කිරීමට නියමිත ප්‍රතිප්‍රහාර හෝ එරට තුළ ඇති විය හැකි දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව ඉඟි කරන බව ඔවුන් පෙන්වා දෙති. ලැරිජානි මේ වන විට ඉරානයේ ‘අර්බුද කළමනාකරු’ ලෙස කටයුතු කරමින් සිටින අතර, ඔහු විසින් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට “අමතක නොවන පාඩමක්” උගන්වන බවට ද සිය X ගිණුම හරහා අනතුරු අඟවා ඇත. ඉරාන රතු කුරුස සංවිධානයට අනුව, ඊයේ ප්‍රහාරවලින් පුද්ගලයන් 201 දෙනෙකු මියගොස් 700කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.














