නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත් ලබා දීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත්, පුද්ගලික අංශයත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.
මෙම රෝගය පාලනය සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අධ්යක්ෂ ජනරාල්වරියට උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම මෙම රෝග ව්‍යාප්තිය සම්බන්ධව ද අමාත්‍යවරයා කරුණු විමසීය.
මෙම රෝගය මීට මාස කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර ගවදෙනුන් සඳහා එන්නත් කිරීම ආරම්භ කළ නිසා එම රෝග තත්ත්වය පාලනය කිරීමට හැකි විය.
එමෙන්ම දැනට මෙම රෝගය පාලනය සඳහා ඇති එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවය යටතේ මිල දී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සඳහන් කළේය.
මෙම රෝග තත්ත්වය කිසිසේත්ම මානව සෞඛ්‍ය සම්පන්නභාවය සඳහා තර්ජනයක් නොමැත. ගව සරම්ප රෝගය වැළදී ඇති සතුන්ගේ කිරි හා මස් පරිභෝජනයෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් උද්ගත නොවන බවත්, මෙම රෝගය මිනිසුන්ට වැළදීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළාය.
ගව සරම්ප නිසා කිරි ගොවීන්ට සිදුවන ආර්ථිකමය පාඩුව මිස වෙනත් හානියක් නැත. ගව සරම්ප රෝගය නිසා කිරි දෙනුන් උණ රෝගයට ගොදුරුවන අතර මේ නිසා එම සතුන්ගේ දෛනික කිරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ.
කෙසේ වුවද ගවසරම්ප රෝගය නිසා මාස 06ක් පමණ කාලයක් තුළ මධ්‍යම පළාතේ ගවයින් 135ක් පමණ මරණයට පත්වී ඇතිබවට වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම රෝගය සම්බන්ධව අනිසි බියක් ඇති කර ගත යුතු නැති අතර ගව සරම්ප රෝගය රෝගී සතුන්ගෙන් මිනිසාට වැළදීමේ අවදානමක් ද නැතිබවත් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය අවධාරණය කර සිටී.