ඇමසන් සමාගමේ ‘Echo’ ස්මාර්ට් ස්පීකරය හෙවත් අප කවුරුත් දන්නා ‘Alexa’ සඳහා කෘතිම බුද්ධිය (AI) පදනම් කරගත් දැවැන්ත යාවත්කාලීනයක් වන Alexa+ හඳුන්වා දී තිබේ. ChatGPT සහ Gemini වැනි නවීන AI චැට්බොට් (Chatbots) සමඟ තරඟ කිරීම සඳහා මෙය නිර්මාණය කර ඇති අතර, මෙතෙක් පැවති කෙටි පිළිතුරු වෙනුවට වඩාත් විස්තරාත්මක සහ ස්වාභාවික ලෙස සංවාද කිරීමට දැන් ඇයට හැකියාව පවතී.
පැරණි Alexa ගෙන් වැස්ස ගැන ඇසූ විට ඇය ලබා දුන්නේ “අද වැස්සක් බලාපොරොත්තු විය නොහැක” වැනි කෙටි පිළිතුරකි. නමුත් නව Alexa+ එය “ඇත්තටම අද කුඩය ගෙනියන්න ඕන වෙන්නේ නැහැ, අහස හොඳට පායලා තියෙන නිසා ඔයාට කරදරයක් නැතුව ගමන යන්න පුළුවන්” වැනි වඩාත් සුහදශීලී සහ විස්තරාත්මක ආකාරයකින් පවසයි. ඇමසන් ප්‍රයිම් (Amazon Prime) සාමාජිකත්වය ඇති අයට මෙම සේවාව නොමිලේ ලැබෙන අතර අනෙක් අයට මාසිකව පවුම් 19.99ක මුදලකට මෙය ලබාගත හැකිය.
2016 වසරේ සිට ඇලෙක්සා උපාංග බිලියන ගණනින් අලෙවි වුවද, ඇමසන් සමාගම එමගින් බලාපොරොත්තු වූ ආදායම් මට්ටම කරා ළඟා වීමට අපොහොසත් වී තිබුණි. බොහෝ පාරිභෝගිකයින් ඇලෙක්සා භාවිත කළේ වේලාව බැලීමට හෝ ගීත ඇසීමට වැනි සරල කාර්යයන් සඳහා පමණි. මෙම නව යාවත්කාලීනය හරහා පරිශීලකයින් සමඟ වඩාත් සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමටත්, ඒ හරහා වැඩි දත්ත ප්‍රමාණයක් රැස් කරමින් වඩාත් ගැලපෙන වෙළඳ දැන්වීම් පෙන්වීමටත් ඇමසන් සමාගම අපේක්ෂා කරයි.














