දකුණු පළාතේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කිරීමේ (Money Laundering) නිරත වූ බව කියන ‘අම්බලන්තොට චුට්ටේ මල්ලි’ හෙවත් චතුර සෙනරත් නමැත්තා රුපියල් කෝටි හයකට අධික රන් බිස්කට් තොගයක් සමඟ ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ තරුණියන් දෙදෙනෙකු ද සිට ඇති අතර, ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඩුබායි විශේෂ වාර්තාකරුවන් පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට පාතාලයේ ජාත්‍යන්තර මූල්‍ය ජාලය පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.
පොලිස් විමර්ශනවලට අනුව මොහු දේමටගොඩ රුවන් සහ දෙහිගෙදර බාලේ වැනි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් කළමනාකරණය කරමින් ඩුබායිහි සුඛෝපභෝගී විලා සහ මහල් නිවාස (Apartments) මිලදී ගෙන ඇත. තමන් ‘උණ්ඩියල්’ ක්‍රමයට මුදල් හුවමාරු කරන්නෙකු බව පවසමින් පෙනී සිටි මොහු, එම දේපළ කුලී පදනම මත ලබාදීම හරහා ජාවාරම්කාරී ආදායම් වසන් කිරීමට උත්සාහ කර තිබේ. මීට අමතරව කොණ්ඩ රංජී නමැති පාතාල සාමාජිකයා සමඟ ද මොහු සමීප සබඳතා පවත්වා ඇති බව හෙළි වී ඇත.
සැකකරු කාලයක සිට ඩුබායි සිට ශ්‍රී ලංකාවට රන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරතව ඇති අතර, ඒ සඳහා සුරූපී තරුණියන් වාහකයන් (Carriers) ලෙස යොදාගෙන ඇති බවට ඩුබායි ආරක්ෂක අංශ සැක පළ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ තරුණියන් සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වන විට ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටින අතර, ශ්‍රී ලංකා පොලිසිය ද ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහාය ඇතිව මොහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී.














