මනුෂ්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින සුප්‍රකට අන්තර්ජාල ක්‍රියාකාරිකයෙකු වන ඇන්ඩෘ ටේට් (Andrew Tate) සහ ඔහුගේ සොහොයුරු ට්‍රිස්ටන් ටේට් හට පනවා තිබූ සියලුම අධිකරණ පාලන සීමාවන් (Judicial Controls) ඉවත් කිරීමට රුමේනියානු අධිකරණය ඊයේ (06) පියවර ගෙන තිබේ. 2022 වසරේ දෙසැම්බර් මාසයේදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව නිවාස අඩස්සියේ සහ පොලිසියට වාර්තා කිරීමේ කොන්දේසි මත මුදා හැර සිටියහ.
බුකාරෙස්ට් අභියාචනාධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුව අවසාන තීන්දුවක් වන අතර ඒ සඳහා නැවත අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බව සඳහන් වේ. ටේට් සහෝදරයන්ගේ නීතිඥයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුව මගින් මුල සිටම ඔවුන් පැවසූ පරිදි මෙම නඩුව දුර්වල සාක්ෂි මත ගොඩනගන ලද්දක් බව තහවුරු වන බවයි. 2024 වසරේදී ද මෙම නඩුවට අදාළ ඇතැම් සාක්ෂි පිළිගත නොහැකි බව පවසමින් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු කික්බොක්සිං ක්‍රීඩකයන් වන මොවුන් දෙදෙනාම තමන්ට එල්ල වී ඇති සියලුම චෝදනා මුල සිටම ප්‍රතික්ෂේප කර ඇත. අධිකරණ සීමාවන් ඉවත් කළද ඔවුන්ට එරෙහි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.
















