අංගොඩ ප්‍රදේශයේදී පාර මාරු වූ පුද්ගලයෙකු ලොරි රථයක ගැටී අනතුරට පත්කර, ඔහුව රෝහලේ රෝද පුටුවක වාඩි කරවා රහසිගතව පලාගිය ලොරි රියැදුරෙකු දින තුනකට පසු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවාසනාවන්ත ලෙස මෙම අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ (02) මියගිය බව පොලිසිය තහවුරු කළේය.
පසුගිය පෙබරවාරි 25 වැනිදා රාත්‍රියේ අංගොඩ ගැට්ටේ පන්සල අසලදී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසු ලොරි රියැදුරා තුවාලකරු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, ඔහුව නිසි පරිදි රෝහල්ගත නොකර රෝද පුටුවක වාඩි කර තබා හොර රහසේම පලා ගොස් තිබේ. පසුව තුවාලකරු හඳුනාගත් අයෙකු ලබාදුන් තොරතුරක් මත ඔහුගේ සහෝදරිය පැමිණ ඔහුව රෝහලට ඇතුළත් කර ඇති අතර, අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහුව එදිනම ජාතික රෝහලට මාරු කර යවා ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේ අසල්වැසියෙකු විසින් සටහන් කරගෙන තිබූ ලොරි රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ රථවාහන අංශය, පසුගිය 01 වැනිදා සැකකාර රියැදුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.














