භික්ෂූ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම හරහා උපාධිධාරීන් බිහි කිරීමෙන් ඔබ්බට ගොස්, සමාජ සාධාරණත්වය සහ මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටින භික්ෂූ පරපුරක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමිනි.
මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළ කරුණු කිහිපයක් මෙසේය. ශ්‍රී ලංකාව ගෝලීය බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට නැවත පත් කිරීමට රජය පියවර ගන්නා බවත්, භික්ෂූන් වහන්සේලා ශාසනික මෙන්ම සමාජීය වගකීම් දරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු බවත් ඇය සඳහන් කළාය. අධ්‍යාපනය යනු හුදෙක් සහතික පත්‍ර ලබා ගැනීමක් නොව, එය සමාජ පරිවර්තනයකට මඟ පෑදිය යුතු ක්‍රියාවලියක් බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
මෙම උත්සවයේදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ, සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුමබණ්ඩාර සහ අධිනීතීඥ මහින්ද රළපනාව යන මහත්වරුන් සිදු කළ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමීම ද සිදු කෙරුණි. අනුරාධපුර ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.














