අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (07) සහභාගී වූවාය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් ලෝකයට මග පෙන්විය හැකි දැනුමෙන් සන්නද්ධ භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම භික්ෂු අධ්‍යාපනයේ මූලික පරමාර්ථය විය යුතු බවයි.
මෙම උත්සවයේදී සිදු වූ සුවිශේෂී කරුණු කිහිපයක් මෙසේය. අග්‍රාමාත්‍යවරිය අතින් නව ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත වූ අතර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ, සම්මානිත මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර සහ අධිනීතීඥ මහින්ද රළපනාව යන විද්වතුන් වෙත උපහාර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
භික්ෂූන් වහන්සේලාට පාලි හා සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා පමණක් නොව නූතන ලෝකය ජය ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර භාෂා සහ තාක්ෂණික දැනුම ලබා දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. එමගින් බෞද්ධ දර්ශනය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ද ඇය පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.














