පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න මහතා තමන්ව සේවයෙන් ඉවත් කිරීමට (වැඩ තහනම් කිරීමට) එරෙහිව ගොනුකළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් මාර්තු 18 වනදා දින නියම කර තිබේ. පසුගිය ජනවාරි 23 වනදා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් තමන් වෙත නිකුත් කරන ලද සේවය අත්හිටුවීමේ ලිපිය නීතිවිරෝධී බවත්, එය බලරහිත කරන ලෙසත් ඉල්ලමින් කුලරත්න මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. පෙත්සම්කරු පෙන්වා දෙන්නේ නිසි පටිපාටියකින් තොරව තමන්ගේ සේවය අත්හිටුවීම හරහා අසාධාරණයක් සිදුව ඇති බවයි. මෙම නඩුව මාර්තු 18 වනදා යළි කැඳවීමට නියමිත අතර එදින මෙයට අදාළ කරුණු තහවුරු කිරීමට නියමිතය.














