ලොව සුප්‍රකට ඇපල් සමාගම සිය 2026 මාර්තු මාසයේ නිෂ්පාදන එළිදැක්වීම සිදුකරමින් නවතම iPhone 17e ස්මාර්ට් ජංගම දුරකථනය සහ M4 චිපයෙන් බලගැන්වුණු iPad Air උපාංගය ලොවට හඳුන්වා දී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ iPhone 17e මාදිලිය ඩොලර් 599ක සහනදායී ආරම්භක මිලකට නිකුත් කර තිබීමයි. නවතම A19 චිපය, මෙගාපික්සල් 48ක ප්‍රබල කැමරා පද්ධතියක් සහ පෙරට වඩා දෙගුණයක් වේගවත් සෙලියුලර් සම්බන්ධතාවක් සහිතව මෙය නිර්මාණය කර තිබීම පාරිභෝගිකයින්ට විශාල වාසියක්. එමෙන්ම, සීරීම්වලට ඔරොත්තු දෙන ‘සෙරමික් ශීල්ඩ් 2’ තාක්ෂණය සහ ඇපල් ඉන්ටෙලිජන්ස් (AI) පහසුකම් ද මෙයට ඇතුළත් කර තිබෙනවා.
සමගාමීව හඳුන්වා දුන් නව iPad Air උපාංගය, මෙතෙක් iPad Pro මාදිලිවල පමණක් තිබූ බලගතු M4 චිපය සහිතව යාවත්කාලීන කර ඇති අතර, එමඟින් එහි වේගය සහ කාර්යසාධනය විශාල ලෙස ඉහළ නංවා තිබෙනවා. අඟල් 11 සහ 13 යන ප්‍රමාණ දෙකෙන්ම ලබාගත හැකි මෙම iPad Air මාදිලි, නිර්මාණකරුවන්ට සහ සිසුන්ට වඩාත් ගැලපෙන අයුරින් මතකය (RAM) ගිගාබයිට් 12ක් දක්වා වැඩිකර තිබීම ද විශේෂත්වයක්. මෙම නව උපාංග සඳහා පෙර ඇණවුම් හෙට (මාර්තු 4) සිට ආරම්භ වන අතර, මාර්තු 11 වනදා සිට වෙළඳපොළෙන් මිලදී ගත හැකියි.














