ජා-ඇල පොලිස් වසමට අයත් වැලිගම්පිටිය, ශාන්ත ආනා පාරේ පිහිටි නිවසක් ඉලක්ක කර අද (07) අලුයම 1:25ට පමණ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බටුවත්තේ චාමර’ගේ බිරිඳට අයත් නිවසකට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු ටී-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 23ක් එල්ල කර තිබේ. දැනට වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම නිවසට මෙන්ම අසල පිහිටි තවත් නිවාස දෙකකට ද මෙහිදී වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසය තුළ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සේවකයන් 4 දෙනෙකු සිට ඇතත්, වාසනාවකට මෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. බටුවත්තේ චාමරගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය මේ වන විට ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටින බැවින් ඇය මෙම නිවස රුපියල් 125,000ක මාසික කුලියකට මීට මාස දෙකකට පෙර බදු දී තිබුණි. මීට පෙර 2025 වසරේ දෙසැම්බර් 15 සහ 24 යන දිනවලදී ද මෙම නිවසම ඉලක්ක කර වෙඩි තැබීම් වාර්තා වී තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














