සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ‘Healthy Sri Lanka’ තේමාවෙන් ක්‍රියාත්මක වන ‘ආරෝග්‍යා’ ජංගම සුවසයන වැඩසටහන් මාලාවේ 58 වැනි සායනය බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. බටපොත ස්වේච්ඡා සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම සායනය සඳහා බටපොත, නුගේදෙනිය, අරුක්පිටිය සහ පැලවත්ත ඇතුළු අවට ගම්මාන රැසක 500කට අධික පිරිසක් සහභාගී වී ප්‍රතිකාර ලබා ගත්හ.
මෙම විශේෂ සායනය හරහා අක්ෂි, දන්ත, බටහිර සහ ආයුර්වේද වෛද්‍ය සේවාවන්ට අමතරව රුධිර පීඩනය, සීනි සහ කොලෙස්ටරෝල් පරීක්ෂාවන් ද නොමිලේ සිදු කෙරිණි. එසේම රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමිලේ ලබා දීමටත්, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ සායන වෙත යොමු කිරීමටත් මෙහිදී පියවර ගෙන තිබුණි. කොළඹ ජාතික රෝහල සහ ජාතික අක්ෂි රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය ආයතනවල විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩල මෙම සායනය සඳහා සිය දායකත්වය සපයන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ නිරීක්ෂණය යටතේ පැවති මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සෙනසුරාදා දිනවලදීත්, රාජ්‍ය සහ ආරක්ෂක අංශ සේවකයන් වෙනුවෙන් වෙන්වූ බදාදා දිනවලදීත් මෙම සායනය ඉදිරියේදී දිවයින පුරා පවත්වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.














