27 April 2024
#දේශීය

IMF එක අනුමත වනවාත් එක්කම ඩොලරයේ අගය බැහැලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

මෙම මාසය තුළ රටට IMF සහනය ලබාදෙන විට ඩොලර්වල වටිනාකම අඩුවන බවත් අද වන විට රට ඉහළට පැමිණ ඇති අවස්ථාවක මෙම තත්වය වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් සහ යුතුකමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා, “අද විපක්ෂයේ ගොඩක් දෙනෙක් කියනවා රජය IMF ගැන කියනවා විතරයි ඒ ගැන කිසිම පිළිතුරක් නැ කියලා. පහුගිය කාලයේ ඇතිවු කොරෝනා වසංගතයෙනුත් පසුව අරගලයක් ඇතිකරමිනුත් සංචාරක ව්‍යාපාරය කඩා වැට්ටුවා. අපනයන ආර්ථිකය කඩා වැටුණා. මේ තත්වය තුළ රට ඉතාම බරපතල ආර්ථික අවපාතයකට ලක්වුණා. ඒ නිසයි තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය ඇති වුණේ. නමුත් මෙයින් ගොඩ එන්න ඕන නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් පත් වුණා. අපි එතන ඉදන් එතුමාට සහය දෙමින් පොදුජන පෙරමුණ හැටියට අපේ ආණ්ඩුව ඉස්සරහට ගිය නිසා අද වන විට තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැ. ඒ නරක තත්වය හොඳ තත්වයට එන වෙලාවක්. මෙය දන්න විපක්ෂයේ අය, අන්තවාදි කණ්ඩායම් සංචාරක ව්‍යාපාරය කඩා වට්ටන්න අද පාරට මිනිස්සු ගේනවා. කොළඹට මේ පිරිස් නොයෙකුත් උද්ඝෝෂණ වලට ජනතාව සහභාගි කිරීම නිසා සංචාරකයන්ගේ පැමිණීමට බාධාවක් එල්ලවෙනවා. බාධා කරන්නේම ඒ අරමුණ මුල් කරගෙන. ජනතා විමුක්ති පෙරමුණේ කියලා සංවිධාන එනවා. පෙරටුගාමි කියලා තව පිරිසක් එනවා. අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කියලා තව පිරිසක් එනවා. මේ ඔක්කෝම ඇවිල්ලා කරන්නේ අපේ ආර්ථිකය කඩා වැට්ටිමට අවශ්‍ය මඟ පාදා ගැනීම පමණයි. මේ තත්වයෙන් ගොඩ එන්න නම් අපි සියලුදෙනා එකතු වෙන්න ඕන. අපි රටේ ආර්ථිකය හදලා පසුව දේශපාලනය කරමු. IMF එක අනුමත වනවාත් එක්කම ඩොලරයේ අගය බැහැලා තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරකයින් ඩොලරය හංගාගෙන හිටියා වැඩි මිලට විකුණගන්න. දැන් ඒ හංගාගෙන හිටපු ඩොලර් ටිකත් වෙළඳපොලට එනවා කියන එක අපිට දැනගන්න ලැබිලා තිබෙන්නේ. එයින් තවත් ඩොලර් එකේ මිල අඩු වෙනවා. මේ මාසයේ ඇතුලත අපිට IMF මුදල ලැබෙන විට තවත් ඩොලර් අඩුවෙයි. සමහරු කියනවා මේක ඩීල් එකක් කියලා. මොනවහරි එකක් කියනවා. කකුලෙන් ඇදීම ඉතාම පැහැදිලිව පේනවා. කෙසේ වෙතත් අපි හිටපු තත්වයෙන් ගොඩාක් උඩට ඇවිත් තිබෙන්‍නේ. මෙය වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් සහ යුතුකමයි. ඒ නිසා අපි කියන්නේ උද්ඝෝෂණය කරන වර්ජනය කරන පිරිස්ගෙන් සාමාන්‍ය ජනතාවට ලොකු පහරක් වදින බවයි. කෘෂිකර්ම ඇමතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා මඩ පොහොර ටික,යුරියා නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා කියලා. මහා කන්නෙදිත් හොඳ අස්වැන්නක් ලැබිලා තිබෙනවා. එළවළු වල මිල පහල බැහැලා තිබෙනවා. පොහොර ටික යල්කන්නේ ඉඳලා ඉස්සරහට ලබා දෙන විට තවත් අපේ රටට අවශ්‍ය සහල් ටික ධාන්‍යවර්ග ටික නිෂ්පාදනය කර ගැනීමට හැකි. අපනයන ක්ෂේත්‍රයත් අපි කෘෂිකාර්මික පැත්තෙන් දියුණු කරන්න පුළුවන්. මෙහෙම හොඳ තත්වයක් ගොඩනැගෙන වෙලාවක අපි සියලුදෙනාම එකතුවෙලා මේ රට ගොඩගන්න කටයුත්ත තමයි කළ යුත්තේ. එහෙම නැතිව ආණ්ඩුවේ කුකුලෙන් ඇදලා වැට්ටිම නොවේ සිදු කළ යුත්තේ.”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *