ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතී. මෙම ප්‍රහාරය එල්ල කළ ඇමෙරිකානු සබ්මැරීනය තුළ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනෙකු ද සිටි බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි නිල වශයෙන් තහවුරු කර තිබේ. මොවුන් ‘ඕකස්’ (AUKUS) පුහුණු වැඩසටහන යටතේ එහි රැඳී සිටි බවත්, ඔවුන් ප්‍රහාරයට සක්‍රීයව දායක නොවී ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කළ බවත් අගමැතිවරයා අවධාරණය කරයි.
මේ අතර, ප්‍රහාරයෙන් විපතට පත් ඉරාන නාවිකයන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා සක්‍රීයව සිදුකරනු ලැබීය. දිවි බේරාගත් නාවිකයන්ගෙන් 8 දෙනෙකු ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තවත් 24 දෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබයි. මියගිය නාවිකයන්ගේ දේහයන් තැන්පත් කිරීම සඳහා රජයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ශීතකරණ බහාලුම් පහසුකම් ගාල්ල රෝහල වෙත ලබාදී ඇති අතර, පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු ද නිම කර තිබේ.
තත්ත්වය තවදුරටත් උණුසුම් කරමින්, ඉරානයේ ‘IRIS Bushehr’ යුද නෞකාව ද ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති අතර එහි සිටි නාවිකයන් 204 දෙනෙකු ආරක්ෂිතව වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රහාරය ‘යුද අපරාධයක්’ ලෙස හඳුන්වමින් ඇමෙරිකාවට දැඩි චෝදනා එල්ල කරන අතරතුර, ඉන්දීය නාවික හමුදාවේ INS තරංගිනී නෞකාව ද සෝදිසි මෙහෙයුම් සඳහා එක්වෙමින් අද උදෑසන කොළඹ වරායට සේන්දු විය.














